Friday, February 24, 2012

සංසාර ස්මරණ වර්තමානයට කැඳවීම

ප්‍රතිගමණ චිකිත්සාව වූ කලී පූර්ව කාල අවධියකට රෝගියා ‍රැගෙන ගොස් ඔහුගේ වර්තමාන ජීවිතයට තවමත් නිෂේධනාත්මක ව බල පාන්නා වූ ද ඇතැම් විට ඔහුගේ රෝග ලක්ෂණ වල මූල සාධකය විය හැක්කා වූ ද ස්මරණයන් නැවත ආවර්ජනය කරන්නා වූ මානසික ක්‍රියා දාමයකි. මෝහනය මනසේ සවිඥානික බාධකයන් ලුහු පරිපථ කොට මේ තොරතුරු අනාවරණ කර ගැනීමට මඟ සලසයි. මේ බාධකයන් අතර සිය පූර්ව ජන්මයන් පිළිබඳ සවිඥානික ව සිහිපත් කිරීමට මඟ අවුරණ ඒවා ද වෙයි.

අතීතයේ ලද වේදනාත්මක අත්දැකීමක් චිත්ත වේගාත්මක ව සජීව කරණය කොට ප්‍රතිරංගනය කිරීම සඳහා කෙනකු තුළ ඇති වන පාලනය කල නො හැකි පෙලඹීම විස්තර කිරීම සඳහා ‍ෆ්‍රොයිඩ් යොදා ගත්තේ “පුනරාවර්තන බලාත්කරණය” යන නම යි.

කීර්තිමත් බ්‍රිතාන්‍ය මනෝවිශ්ලේෂකයකු වූ අර්නස්ට් ජෝන්ස් සිය මනෝ විශ්ලේෂණය පිලිබඳ පත්‍රිකා (1938) නම් ප්‍රකාශනයෙහි පුනරාවර්තන බලාත්කරණය නිර්වචනය කෙළේ “සුඛ-වේදනා දෘෂ්ටි කෝණයෙන් බලන කල එ සේ කිරීමෙන් ලැබෙන කිසිදු ප්‍රයෝජනයකින් තොරව පෙර අත්දැකීම් හා සිදුවීම් යළි යළිත් සිහි කිරීම සඳහා යමකු තුළ අන්ධ ලෙස ඇති වන ආවේගාත්මක පෙළඹීම” වශයෙනි. මේ චර්යාව කෙතරම් හානිකර හෝ විනාශකාරී වුව ද එය යළි යළිත් සිදු වීම පාලනය කර ගත නො හැකි අතර යමකු තුළ ඇති අධිෂ්ඨානය හා ආත්ම ශක්තිය මේ ආවේගයන් පාලනය කර ගැනීම සඳහා ප්‍රමාණවත් නො වේ.

ව්‍යසනකාරී තත්වයක දී අත් විඳි මුල් චිත්තවේගීය කම්පනය සවිඥානික මනසට කැඳවා එය භාව විරේචනාත්මක ක්‍රමයකට මුදා හරිමින් (චිකිත්සකයන් විසින් මෙය අපසර්ජනය නමින් හඳුන්වනු ලබ යි) එ මඟින් ඉපිද වූ හැඟීම් හා උගත් පාඩම් සමෝධානය කර ගැනීම වඩාත් ප්‍රතිඵලදායී බව ෆ්‍රොයිඩ් සොයා ගත්තේ ය. නිපුණ ප්‍රතිකාරකයකු විසින් මෝහන ප්‍රතිගමණ ප්‍රතිකාරය සිදු කරණ අවස්ථාවේ දී පළමු ව රෝගියා සම්මෝහ තත්වයකට රැගෙන ගොස් අදාළ සිදුවීම නිරාවරණය කර ගැනීම සඳහා ඔහුට අවශ්‍ය මෙවලම් සපයා දෙනු ලබ යි. බොහෝ විට මේ සිදුවීම හමුවන්නේ රෝගියාගේ ළමා වියේ දී ය. මේ සම්මත මනෝ විශ්ලේෂණ සිද්ධාන්තය යි.

එහෙත් මා කැතරින්ට ප්‍රතිකාර කළ අවධියේ දී සොයා ගත් පරිදි ඇතැම් අවස්ථා වල සිදු වන්නේ මේ මුල් චිත්ත වේගීය කම්පනය වඩාත් ඈත අතීතයට එ නම් පූර්ව ජන්මයන් කරා විහිදී යාම යි. මා විසින් හඳුනා ගනු ලැබූ පරිදි, ප්‍රතිකාර කළ රෝගීන්ගෙන් සියයට හතලිහකට පමණ සිය ජීවිතයේ වූ සායනික ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පූර්ව ජන්මයන් කරා රැගෙන යා යුතු විය. සෙසු පිරිසෙන් බොහොමයකට ප්‍රතිඵල අත් කැර ගැනීම සඳහා මේ ජීවිතයේ ම මුල් අවධියක් කරා ප්‍රතිගමණය කිරීම පමණක් ප්‍රමාණවත් වී ය.

Monday, February 20, 2012

මෝහ‍නය අනතුරුදායකද?

මේ නිද්‍රෝපායී අවස්ථාව සම්මෝහ නිද්‍රාවට අතිශයින් සමාන වන අතර සැබැවින් ම බොහෝ සම්මෝහ මට්ටම් වලට ද වඩා ගැඹුරු වේ. සිය මනසේ වඩාත් ගැඹුරු මට්ටම් වලට ප්‍රවේශ වීමට රෝගියාට සහාය වීය හැකි තරම් කුසලතාවයෙන් හෙබි සම්මෝහ ශිල්ප ක්‍රම උගත් ප්‍රතිකාරකයකුට සුවපත් කිරීමේ ක්‍රියාවලිය විස්මය ජනක ලෙස වේගවත් කළ හැකි ය. මෙහි දී පහල වන නිර්මාණශීලී අදහස් හා විසඳුම්, පෞද්ගලික ගැටළු විසඳීමේ සීමාවෙන් ඔබ්බට විහිදෙත් ම ඉන් ජන සමාජයේ විශාල කොටසකට ඉන් ප්‍රතිලාභ අත් විය හැකි ය; එඩිසන්ගේ විදුලි බල්බය සොයා ගැනීම තුළින් අප හැමට ම යහපතක් අත් වූවාක් මෙනි. මේ ක්‍රියාවලියට මුළු ලෝකය ම විජයග්‍රහණය කළ හැකි ය.

චිත්ත ඒකාග්‍රතාව ඉලක්ක ගත කිරීමට මෙන් ම ගැඹුරු සම්මෝහ මට්ටමකට ප්‍රවේශ වීමට හා සැහැල්ලු බවකට පත් වීම සඳහා කිසිවකුගේ මාර්ගෝපදේශී හඬ රෝගියාට උදව් වෙයි. මෝහ‍නයේ කිසි දු අනතුරුදායක බවක් නොමැත. මේ දක්වා මා විසින් මෝහනයට ලක් කරන ලද කිසිවකු සම්මෝහ නිද්‍රාව තුළ සිර වීමක් සිදු නො වී ය. කැමති විටෙක දී එම සම්මෝහන තත්වයෙන් මිදීමට ඔබට හැකි ය.

මෝහනය තුළ දී කිසිවෙක් තම සදාචාරාත්මක සීමාවන් හෝ ආචාර ධර්ම සිද්ධාන්තයන් කිසිදාක උල්ලංඝනය නොකර යි. හඬ ගසනු ලැබූ කුකුලකු හෝ තාරාවකු මෙන් කිසිවකු එහි දී ස්වච්ඡන්දතාවයෙන් තොර ව ක්‍රියා කරන්නේ නැත. කිසිවකුගේ අණසකට ඔබ නතු ‍නො වේ. පූර්ණ වශයෙන් ම පාලනය ඇත්තේ ඔබ සතුව යි.

සම්මෝහ නිද්‍රාවේ දී ඔබේ මනස නිරන්තර දැනුවත් භාවයේ සිටිමින් සියල්ල නිරීක්ෂණය කරයි. ගැඹුරු සම්මෝහ මට්ටමක හිඳිමින් සිය ළමා වියේ හෝ පූර්ව ජන්ම ස්මරණ අනුක්‍රමණයන් හා සක්‍රිය ව සම්බන්ධ වූ අයකුට, ප්‍රතිකාරකයාගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දිය හැක්කේත්, ඔහුගේ වර්තමාන ජන්මයේ භාෂාව කථා කළ හැක්කේත්, තමා දකින භූගෝලීය ප්‍රදේශ හඳුනා ගත හැක්කේත්, මනස මත දර්ශනය වන්නා වූ හෝ අභ්‍යන්තර ඇස ඉදිරිපිට ප්‍රතිබිම්බනය වන්නා වූ අතීත වර්ෂ හඳුනා ගත හැක්කේත් මේ නිසා ය. මෝහනය වූ මනස වර්තමානය පිලිබඳ දැනුම හා දැනුවත් භාවය පවත්වා ගනිමින් ම ළමා වියේ හෝ පූර්ව ජන්මන්හි ස්මරණයන් එම සන්දර්භය තුළට වැද්ද ගනී. ප්‍රතිබිම්බනය වන වර්ෂය 1900 නම් හා ඔබ පෞරාණික මිසරයේ පිරමිඩ තනමින් සිටී නම් එම වර්ෂය ක්‍රිස්තු පූර්ව බව ඔබ හඳුනාගන්නේ ඊට අදාළ අක්ෂරයන් (ක්‍රි.පූ) පවා නො දකිමිනි.

නිදර්ශනයක් වශයෙන් තමා මධ්‍ය කාලීන යුරෝපයේ යුද්ධයකට මැදිව සටන් කරන ගොවියකු සේ දකින සම්මෝහ නිද්‍රාවට පත් රෝගියකුට සිය වර්තමාන ජීවිතයේ දන්නා හඳුනන පුද්ගලයන් පූර්ව ජන්මයේ දී ක‍වරෙක් ව සිටියේ දැයි හඳුනා ගත හැක්කේ ද මේ හේතුව නිසා ය. ඔහුට නූතන ඉංග්‍රීසි බස කථාකළ හැක්කේ ද, පෞරාණික ජන්මයේ දී දකින දළ අවි ආයුධ, වර්තමානයේ ඔහු දැක ඇති නවීන ඒවා සමඟ සැසඳිය හැක්කේ ද, කාල වකවානු සඳහන් කළ හැක්කේ ද එ හෙයිනි.

ඔහුගේ වර්තමාන මනස දැනුවත් අවදියෙන් යුතුව සියල්ල නරඹමින් ද, විචාරයෙහි යෙදෙමින් ද සිටී. තමා දකින සියලු විස්තර ද, සිදුවීම් ද, වර්තමාන ජීවිතයේ වූ එ වැනි දෑ සමඟ ඔහුට සංසන්දනය කළ හැකි ය. ඔහු තමා දකින සිනමා පටයේ නරඹන්නා ද, විචාරකයා ද පමණක් නොව ඒ මොහොතේ දී ම එහි ප්‍රධාන නළු‍වා ද වෙයි. ඒ සම්පුර්ණ කාලය පුරා ම ඔහුට සැහැල්ලු භාවයේ ද සම්මෝහ නිද්‍රාවේ ද රැඳී සිටිය හැකි ය.

සිය උපවිඥානමය මනසට ප්‍රවිශ්ට වීමට රෝගියාට ඉඩ සලසන සම්මෝහ නිද්‍රාව, සුවපත් වීමේ විභවයක් ඇති විඥානමය අවස්ථාවකට ඔහු පමුණුවයි. රූපකාර්ථවත් ව කිවහොත් එ මඟින් රෝගියා මහෞෂධීය වෘක්ෂයන්ගෙන් යුතු ඉන්ද්‍රජාලමය වනාන්තරයකට රැගෙන යනු ලබයි. සුවපත් වීමේ දේශයට රෝගියා රැගෙන යන්නේ මෝහනය නම් සුවපත් වීම සඳහා ඔහු අනුභව කළ යුතු මායා ඵලයන් දරන වෘක්ෂය වන්නේ ප්‍රතිගමණය යි.

Tuesday, February 14, 2012

නිද්‍රෝපායී කලාපය

මෝහනයට පිවිසුණ ඔබ සිටින්නේ නින්දක නො වේ. එහි දී ඔබ අත් විඳින සියලු දෑ පිළිබඳ සවිඥානික මනසට දැනුවත් භාවයක් ඇත. අතිශයින් ම ගැඹුරු උපවිඥානික මට්ටමක් සමඟ සම්බන්ධ වී ඇතත් ඔබේ මනසට තවමත් විවේචනය කිරීම සංස්කරණය කිරීම හෝ අදහස් ප්‍රකාශ කිරීම කළ හැකි ය. මෝහනය යනු මිනිසුන් මත් කොට ඔවුන්ගේ හැඟීම් එළිදරව් කර ගනු පිණිස දෙන “සත්‍යාරිෂ්ටයක්” නො වේ. එහි දී ඔබ කාල යන්ත්‍රයකට ඇතුළු වී වර්තමානය පිළිබඳ දැනුවත් භාවයකින් තොර කාල රේඛාවේ කිසියම් තැනෙක පිහිටි කිසියම් ප්‍රදේශයකට ක්ෂණයකින් ගොඩ බසින්නේ ද නැත. සම්මෝහ නිද්‍රාවේ දී කිසිවෙක් සිනමා පටක් නරඹන්නාක් මෙන් සිය අතීතය දකියි. තවත් අයෙක් වඩාත් ප්‍රබල චිත්තවේගී ප්‍රතිචාරයන් සහිත ව විචිත්‍ර ලෙස ඊට සම්බන්ධ වෙයි. සමහරු එම අත්දැකීම් “දකිනවා” ට වඩා “හඟිති”. ඇතැම් විට වඩාත් ප්‍රමුඛ ප්‍රතිචාරය ශ්‍රව්‍යමය හෝ ආඝ්‍රාණමය විය හැක. අනතුරු ව මෝහන සැසිය තුළ දී තමන් අත් දුටු සියල්ල පිළිබඳ ව ඔවුන්ට යළි සිහිපත් කළ හැකි ය.

ඇතැම් විට මෙ සේ සම්මෝහයේ ගැඹුරු මට්ටම් කරා යාමට ඉතා උසස් කුසලතාවක් අවශ්‍ය බවක් ඇතැමෙකුට පෙනී යා හැක. එහෙත් සත්‍යය නම් අප සියල්ලන් ම එදිනෙදා ජීවිතයේ දී අවදි හා නිද්‍රා අවස්ථා දෙක අතර වූ නිද්‍රෝපායී නම් කලාපය ඉතා පහසුවෙන් පසු කැර යන බව යි. ඇතැම් විට නින්දෙන් අවදි වූ විගස ම, අප දුටු සිහින විචිත්‍රවත් ව සිහි කළ හැකි එහෙත් පූර්ණ වශයෙන් අවදි නො වූ අවස්ථාවක දී අප සිටින්නේ මේ නිද්‍රෝපායී අවධියේ ය. මෙය අපේ එදිනෙදා කටයුතු හා ස්මරණයන් අපේ මනස තුළට යලි පිවිසීමට මොහොතකට පෙර පවතින්නා වූ තත්වය යි. සම්මෝහ අවස්ථාව සේ ම නිද්‍රෝපායී අවධිය ද ගැඹුරු ලෙස ම නිර්මාණශීලී අවස්ථාවකි. ඒ කලාපය පසු කරත් ම මනස පූර්ණ වශයෙන් අන්තරාවර්තී වන අතර එහි දී අපට උපවිඥානයේ නිර්මාණශීලී අනුප්‍රාණයන් හසු කැර ගත හැකි ය. බොහෝ දෙනකු විසින් නිද්‍රෝපායී අවස්ථාව හඳුන්වනු ලබන්නේ සීමා මායිම් වලින් තොර “නෛසර්ගික ප්‍රතිභාවත්” අවස්ථාවක් ලෙස යි. අප විසින් ම පණවා ගනු ලබන සීමාවන් ගෙන් තොරව අපේ සියලු ශක්තීන් පරිහරණය කිරීමේ අවස්ථාව නිද්‍රෝපායී අවස්ථාවේ දී අපට ලැබේ.

තෝමස් අල්වා එඩිසන් මෙම නිද්‍රෝපායී අවස්ථාව ඉහළින් ම අගය කළා පමණක් නොව සිය නව සොයා ගැනීම් විෂයෙහි එය උපයෝගී කර ගැනීම සඳහා ඔහුට ම ආවේණික ක්‍රමයක් ද නිර්මාණය කෙළේ ය. එඩිසන්, නින්ද හා නොනින්ද අතර වූ මේ විඥානමය තත්වයට ලඟා වීම සඳහා භාවිත කෙළේ කිසියම් සැහැල්ලු වීමේ හා භාවනාමය ශිල්ප ක්‍රමයකි. පහසු පුටුවක හිඳගත් ඔහු යටි අතට හැරවූ සිය අත්ලේ යකඩ බෝල කිහිපයක් මිටි කර ගෙන පුටු ඇන්ද මත දෑත රඳවා ඊට යටින් ලෝහ බඳුනක් තබා ගත‍්තේ ය. එඩිසන් නින්දට වැටුණහොත් අත්ල ලිහිල් වී යකඩ බෝල ලෝහ බඳුනට වැටෙන අතර ඉන් නිකුත් වන හඬින් ඔහු අවදි කරවනු ලැබිණ. ඔහු මේ ක්‍රියාවලිය නො කඩවා යළි යළිත් සිදු කෙළේ ය.

Friday, February 10, 2012

මෝහනය හා ප්‍රතිගමණය යනු කුමක්ද?

සිය පූර්ව ජන්ම ස්මරණයන් මතු කැර ගැනීම සඳහා සේවා ලාභීන් හට උපකාර කරන්නට මා භාවිතා කළ ප්‍රධාන ශිල්ප ක්‍රමය වූයේ මෝහනය යි. බොහෝ දෙනකුට මෝහනය යනු කුමක්ද යන්න පිළිබඳ හා මෝහන නිද්‍රාව තුළ දී කුමක් සිදු වේද යන්න පිළිබඳ ගැටළු ඇතත් එය මහා අභිරහසක් නො වේ. සැබැවින් ම සම්මෝහ නිද්‍රාව යනු අප එදිනෙදා ජීවිතයේ බොහෝ අවස්ථාවල අත් දකින පරිදි ඉලක්ක ගත කළ චිත්ත ඒකාග්‍රතා ස්වභාවයකි.

ඔබ සැහැල්‍ලුවෙන් සිටී නම් සහ ශබ්දයක් වැනි බාහිර උත්තේජනයකින් අවධානය නො බි‍ඳෙන තරමට ඔබේ සමාධිය බලවත් නම් ඔබ සිටිනුයේ මෝහනයේ සැහැල්ලු අවස්ථාවේ දී ය. සෑම මෝහනයක් ම ස්වයං මෝහනයක් වන අතර එම ක්‍රියාවලිය පාලනය කරණු ලබන්නේ මෝහනයට ලක් වන්නා විසිනි. ප්‍රතිකාරකයා මෙහි දී හුදු මාර්ගෝපදේශකයකු පමණි. හොඳ පොතකට හෝ චිත්‍රපටයකට ඇලී ගැලී සිටින විට, කල්පනාවකින් තොර ව අවසන් වංගු දෙක තුන පසු කොට නිවෙසට එන අවස්ථාවේ දී හෝ “ස්වයංක්‍රීය නියමු” තත්වයේ සිටින බොහෝ අවස්ථා වල අපි බොහෝ දෙනෙක් සම්මෝහ නිද්‍රා තත්වයකට පත් වන්නෙමු.

භාවනාවේ මෙන් ම සම්මෝහනයේ ද එක් අරමුණක් වන්නේ උපවිඥානය වෙත ප්‍රවිෂ්ට වීම යි. මෙය සාමාන්‍ය සවිඥානයට පහළින් එ නම් අපගේ දැනුවත් මනස මත නිරන්තර ව ගැටෙන සිතිවිලි, හැඟීම් හා බාහිර උත්තේජනයන්ගේ ප්‍රහාරාත්මක අසනි වර්ෂාවට පහලින් පිහිටි මනසේ කොටසකි. උපවිඥානය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය දැනුවත් මනසේ මට්ටමට වඩා ගැඹුරින් පිහිටි මට්ටමකිනි. අප ගේ උපවිඥානමය මනස තුළ සවිඥානික සංජානනයකින් තොර ව ක්‍රියාත්මක වන මානසික ක්‍රියා‍වලියක් පවතී. ඇතැම් මොහොතක අප ඉවෙන් මෙන් හඟින දෑ, ඉබේ පහළ වන ප්‍රඥා විදර්ශනාවන් හා නිර්මාණශීලී කල්පනා යනු මේ උපවිඥානමය ක්‍රියාවලියේ ක්ෂණිකාලෝකයන් දැනුවත් මනස මත පතිත වූ අවස්ථාවන් ය.

උපවිඥානික මනස අප පණවා ගත් තර්කයේ, අවකාශයේ හා කාලයේ සීමාවන් තුළ කොටු නො වේ. එයට කවර හෝ කාල වකවානුවකින් කවර හෝ දැයක් සිහිපත් කළ හැකි අතර අපගේ ගැටළු සඳහා නිර්මාණශීලී විසඳුම් සම්ප්‍රේශණය කළ හැකි ය. එයට සමාන්‍ය ස්වභාවය අභිභවා ගොස් අපගේ එදිනෙදා ශක්‍යතාවන් ගෙන් බොහෝ දුර පිහිටි ප්‍රඥාවේ ඉම් ස්පර්ශ කළ හැකි ය. මෝහනය විසින් සිදු කරන්නේ උපවිඥානයේ ඇති ප්‍රඥාව ඉලක්කගත ක්‍රමයට මතු කැර ගනිමින් සුව කිරීම සඳහා යොදා ගැනීම යි. සාමාන්‍යයෙන් උපවිඥානය හා විඥානය අතර ඇති සබඳතාව ප්‍රතිවින්‍යාස ගත කොට උපවිඥානයට වඩාත් ආධිපත්‍යක භූමිකාවක් ලබා දුන් කළ කෙනකු සම්මෝහ නිද්‍රාවට පත් වෙතැයි අපි කියමු. පුළුල් පරාසයක් පුරා විහිදෙන මෝහන ශිල්ප ක්‍රම ඇත. ඒවා නිර්මාණය කොට ඇත්තේ සැහැල්ලු මට්ටමේ සිට ඉතා ගැඹුරු මට්ටමක් දක්වා වූ පුළුල් ප‍රාසයක විහිදුණු සම්මෝහ නිද්‍රා මට්ටම් වෙත එළැඹීම සඳහා ය.

‍එක් අතකට සම්මෝහ නිද්‍රාව යනු අඩු වැඩි වශයෙන් සවිඥානික හා අවිඥානික මනස් ද්වය ම පිළිබඳ දැනුවත් භාවය පවත්වා ගන්නා සන්තතික ස්වභාවයකි. මා විසින් අවබෝධ කොට ගෙන ඇති පරිදි යමකු සම්මෝහ නිද්‍රාව පිළිබඳ දැනුවත් භාවයක් ඇත් නම් හා ඔහුගේ භීතිකාවන් පිළිබඳ සාකච්ඡා කොට ඒවා සමහන් කොට ඇත් නම්, ප්‍රතිකාර සඳහා සුදුසු මට්ටමකට ඔවුන් මෝහනය කිරීම පහසු වේ. ඇතැම් චිත්‍රපටයක, වේදිකා හෝ ටෙලි සංදර්ශනයක මෝහනය නිරූපනය කොට ඇති ආකාරය නිසා බොහෝ දෙනකු තුළ ඒ සම්බන්ධයෙන් ඇත්තේ වැරදි අවබෝධයකි.

Thursday, February 9, 2012

පූර්ව ජන්ම ප්‍රතිකාර මඟින් සුවපත් වූ මගේ රෝගීන්

කැතරින් පිළිබඳ අත්දැකීමෙන් පසු මනෝවිද්‍යාව සම්බන්ධයෙන් වූ මගේ දෘෂ්ටිය විප්ලවීය ලෙස වෙනස් වූයේ ය. මනෝව්‍යාධිමය තත්වයන් හා සුව කිරීමට මාස ගණන් අවුරුදු ගණන් ගත වූ මිල අධික ප්‍රතිකාරයන් අවශ්‍ය වූ රෝග ලක්ෂණ සඳහා පූර්ව ජන්ම ප්‍රතිගමණය වඩාත් වේගවත් වූ විසඳුමක් බැව් මට අවබෝධ විය. වේදනාවන් හා භීතිකාවන් සුව කිරීම සඳහා මෙය අතිශයින්ම සෘජු ක්‍රමයක් වූයේ ය. මේ ප්‍රතිකාර ක්‍රමය අන් රෝගීන් සඳහා ද මා විසින් අත්හදා බලන ලද අතර ඉන් හැම විට ම විශිෂ්ට ප්‍රතිඵල ලැබිණි. මා අතින් මේ කෘතිය ලියවෙන මොහොත වන විට මම සිය ගණන් රෝගීන් ඔවුන් ගේ පෞද්ගලික ප්‍රතිකාර සැසි තුළ දී පූර්ව ජන්ම ප්‍රතිගමණයට බඳුන් කොට ඇත්තෙමි. එ මෙන් කිහිප ගුණයක් දෙන මගේ කණ්ඩායම් වැඩ මුළු වල දී ප්‍රතිගමණයට ලක් වූ හ.

මගේ රෝගීන් වූවෝ කවරහු ද? වෛද්‍යවරුන්, නීතීඥයින්, ව්‍යාපාරිකයන්, මනෝ චිකිත්සකයන්, ගෘහණියන්, කම්කරුවන්, අලෙවිකරුවන් ආදී ‍බොහෝ දෙනෙක් ඒ අතර වූ හ. ඔවුහු වෙනස් ආගම්, වෙනස් සමාජ ආර්ථික මට්ටම්, වෙනස් අධ්‍යාපනික පසුතලයන් හා වෙනස් ඇදැහීම් පද්ධති වලින් යුතු නානාංගකෘත පිරිසක් විය. එතෙකුදු වුව ඉන් බොහෝ දෙනෙකුට සිය පූර්ව ජන්මයන් පිළිබඳ සවිස්තරව සිහිපත් කළ හැකි වූ අතර තවත් බොහෝ දෙ‍නකුට කායික මරණය ඉක්මවා ගිය අවිච්ඡින්න පැවැත්මක මතකයන් ශේෂ ව තිබිණ.

මගේ රෝගීන් ගෙන් බහුතරයක් දෙනා පූර්ව ජන්ම ප්‍රතිගමණ අත් දැකීම ලැබුවේ සම්මෝහ නිද්‍රාව තුළිනි. ඇතැමුන්ට භාවනාව තුළින් ද, ස්වයං සිද්ධ ව ද පූර්ව ජන්මයන් පිළිබඳ ස්මරණයන් ගලා ආවේ විචිත්‍ර සුවිෂද සිහිනයන්, පෙර දුටු හුරුව (Déjà Vu) හෝ වෙනත් එ වැනි ස්වරූපයන් ගෙනි.

ඔවුන් බොහෝ දෙනකුට මෙ මඟින් සිය නිදන් ගත හා යාව ජීව රෝග ලක්ෂණයන් වූ භීතිකාවන්, සන්ත්‍රාසක ප්‍රහාර, පුනරාවර්තිත නපුරු සිහින, අහේතුක බිය, තරබාරු කම, නිරන්තර ව බිඳ වැටෙන සබඳතා, කායික වේදනාවන් හා රෝගී තත්වයන් වැනි අපහසුතා වලින් මුළුමනින් ම මිදීමට හැකි වූයේ ය.

එහෙත් මෙය ප්ලැසිබෝ ප්‍රතිඵලයක් (ඖෂධයක් සේ පෙනෙන ව්‍යාජ පෙත්තක් මඟින් මානසිකව රෝග සුව කිරීම) නො වී ය. මේ මිනිස්සු ලෙහෙසියෙන් රැවටෙන සුළු හෝ නම්මා ගත හැකි පිරිසක් නො වූ හ. ඔවුන්ට සිය පූර්ව ජන්මයන් හි නම්, දින වකවානු, භූගෝලීය ලක්ෂණ ආදිය සවිස්තරව මතක තිබිණි. එ සේ ම පූර්ව ජන්මයන් සිහිපත් වීමෙන් අනතුරු ව ඔවුහු කැතරින් සේ ම සුවපත් වූ හ.

කායික හා චිත්තාවේගික රෝග ලක්ෂණයන් සුවපත් වීමට වඩා වැදගත් වූයේ අපගේ සිරුරු මිය ගිය ද අප නොමියෙන බවට ලත් දැනුමයි. අපි අමරණීය වෙමු. කායික මරණය අභිබවා අපි නො නැසී පවතින්නෙමු.

“කාල තරණයෙන් සුවයට” යන මේ කෘතිය තුළ මා පෙළ ගස්වන්නේ Many Lives, Many Masters කෘතිය ලියා පළ කළ තැන් පටන් පූර්ව ජන්ම ප්‍රතිගමණය තුළ වූ සුව කිරීමේ විභවය පිළිබඳ මා උගත් පාඩම් ය. මේ සිද්ධි අධ්‍යයනයන් සියල්ල ම සත්‍ය ඒවා වන අතර පුද්ගලයන් ගේ නම් සහ ඔවුන් ගේ අනන්‍යතාව හෙළි විය හැකි තොරතුරු පමණක් වෙනස් කොට දක්වා ඇත.

Monday, February 6, 2012

ගුරු ස්වාමිවරු

1979 මුල් භාගයේදී බරපතල හෘදයාබාධයකට ලක් වීමට පෙර මගේ පියා ඉතා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කෙළේ ය. එ කල ඔහු ගේ වයස අවුරුදු හැට එකකි. හෘදයාබාධයෙන් ඔහුගේ දිවි ගැලවුණත්, එය ඔහුගේ හෘද බිත්තියට පිලිසකර කළ නො හැකි හානියක් කෙළේ ය. ඔහු මිය ගියේ ඉනුත් අවුරුදු තුනකට පසුව යි. මෙය සිදු වූයේ කැතරින් හා මා අතර වූ ප්‍රථම හමුවට මාස නමයකට පමණ කලිනි.

මගේ පියා ආගම දහමට ලැදි වූ අයකු වුව ද එය බොහෝ විට ආමිස පක්ෂයට මිස ආධ්‍යාත්මික පක්ෂයට බර වූවක් නො වී ය. ඔහුගේ හීබ්‍රෑ නාමය වූ අවුරෝම් යන්න එහි ඉංගිරිසි පර්යාය නාමය වූ ඇල්වින් යන්නට වඩා හොඳින් ඔහුට ගැලපුණේ ය. ඔහු ගේ මරණයෙන් මාස හතරකට පසු අපේ දියණිය ඇනී ඉපදුණු අතර ඈට නම් තැබුණේ ඔහු ගේ නම ආශ්‍රයෙනි.

දැන් මේ 1982 වර්ෂයේ මගේ අඳුරු නිසංසල කාමරය තුළ දෙසවන් අගුළු වටවන සුළු ගූඪ අභිරහස් සත්‍යයන් සමුදායක් මා මත පතිත වෙමින් පැවතිණ. ආධ්‍යාත්මික සාගරයක රැලි මත පිහිණමින් මම ඒ දිය කඳට ඇලුම් කරන්නෙක් වීමි. මගේ දෑ‍තේ රෝමෝද්ගමනය වී තිබිණි. කැතරින්ට මේ තොරතුරු දැන ගන්නට මඟක් නො වී ය. ඒ පිළිබඳ සොයා බලන්නට මූලාශ්‍රයක් ද නො වී ය. මගේ පියා ගේ හීබ්‍රෑ නාමය... කෝටියකින් එක් අයකුට පමණක් වැළ‍‍ඳෙන දුර්ලභ සංකුලතාවයකින් මිය ගිය පුතා... දියණිය ගේ නම් තැබීම... ඒ සියල්ල පමණට වඩා බෙහෙවින් ම වැඩි විය. පමණට වඩා නිශ්චිත විය. පමණට වඩා සත්‍ය විය. මේ අවිදග්ධ රසායනාගාර ශිල්පිනිය ලෝක විෂය ඉක්මවා ගිය දැනුම් ප්‍රවාහයක ප්‍රණාලිය වූයේ කෙසේ ද? ඇයට මේ සත්‍යයන් නිරාවරණය කළ හැකිනම් එහි වැඩි දුරටත් ඇත්තේ මොනවා ද? මට වඩ වඩාත් දැන ගැනීමට අවශ්‍ය විය.

“කවුද ඔතැන ඉන්නේ” මම ඇසීමි. “කවුද ඔබට මේවා කියන්නේ”

“ගුරු ස්වාමිවරු” ඈ කෙඳිරුවාය. “ගුරු ආත්මයන් මට කියන්නෙ... ඔවුන් කියන‍වා ද්‍රව්‍යමය ලෝකයේ ‍මම අසූ නම වතාවක් ජීවත් වී ඇති බව. ”

කැතරින් මේ කාරණා දැන නො සිටි වග ද ඇයට ඒ ගැන දැන ගැනීමට මඟක් නොවූ වග ද මම දැන සිටියෙමි. නිව් ජර්සි හි දී මිය ගිය මගේ පියාගේ භූමදානය සිදු ‍කැරුණේ උතුරු නිව්යෝක් හි දී ය. ඒ සම්බන්ධයෙන් අවමංගල්‍ය දැන්වීමක් හෝ පළ වූයේ නැත. ඇඩම් මිය ගියේ මීට දශකයකට පමණ පෙර සැතපුම් එක් දහස් දෙසීයකට පමණ දුරින් පිහිටා තුබූ නිව්යෝක් නගරයේ දී ය. ‍ෆ්ලොරීඩාවේ වූ මගේ සමීපතම මිතුරන්ගෙන් ඇඩම් ගැන දැන සිටියේ අතලොස්සක් දෙනා පමණි. මරණයට හේතුව දැන සිටියේ ඉනුත් කිහිප දෙනෙකි. මා සේවය කළ රෝහලේ කිසිවෙක් ඒ ගැන දැන නො සිටියේ ය. මගේ පවුල් ඉතිහාසය ගැන දැන ගැනීමට ද කැතරින් හට කිසි දු මඟක් නො වී ය. එහෙත් ඈ නිසැකව ම සඳහන් ‍කෙළේ ඇල්වින් යන ඉංගිරිසි අනුවාදය නොව ඇව්රොම් යන මූලකෘත නාමය යි.

මගේ විශ්මය ක්‍රමයෙන් දිය වී යන්නා හා ම මම නැවත වරක් විද්‍යාත්මක ක්‍රමයට පුහුණු කරණු ලැබූ ආධානග්‍රාහී මනෝචිකිත්සකයා බවට පත් විමි. මම පොත් හල් ද පුස්තකාල ද පීරමින් වැඩිදුර විස්තර සොයන්නට පටන් ගතිමි. මෙහි දී පුනර්ජන්ම ස්මරණ සේ ගම්‍යමාන වන විස්තර ප්‍රකාශ කළ කුඩා ළමුන් ආශ්‍රයෙන් සිදු කළ ආචාර්ය ඉයන් ස්ටීවන්සන් ගේ විශිෂ්ඨ පර්යේෂණයන් මට හමු විය. මේ පර්යේෂණ ගැන පොතේ පසු පරිච්ඡේදයක දී කෙටියෙන් සාකච්ඡා කිරීමට මම අදහස් කරමි. එ සේ ම මට හමු වූ තොරතුරු අතර සම්මෝහ නිද්‍රාව හා යමකු ගේ උප විඥානය පූර්ව ජන්ම ස්මරණ කරා රැගෙන යා හැකි වෙනත් ශිල්ප ක්‍රම භාවිතා කරමින් පූර්ව ජන්ම ප්‍රතිගමණය සිදු කළ චිකිත්සකයින් කිහිප දෙනකුගේ ප්‍රසිද්ධ කරන ලද පර්යේෂණ වාර්තා කිහිපයක් ද විය. දැන් මට අවබෝධ වී ඇති සැටියට නම්, වෘත්තීය ජීවිතයට හා කීර්ති නාමයට කැළැලක් වෙතැයි බියෙන් සිය පර්යේෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධ නො කොට තබා ගෙන සිටින චිකිත්සකයෝ බොහෝ දෙනෙක් සිටිති.

මගේ Many Lives, Many Masters කෘතියේ සවිස්තර ව දක්වා ඇති පරිදි කැතරින් ඇගේ පූර්ව ජන්මයන් රාශියක සැරි සැරූ අතර ඉන් මැ සුවපත් වූවා ය. සිත් තුළ මුල් බැසගත් මරණය පිළිබඳ බියෙන් ද ආඝාතකර රෝග ලක්ෂණ වලින් ද මුළු මනින් ම මිදුණු ඕ ප්‍රීතිමත් හා ප්‍රමෝද ජනක ජීවිතයක් ඇරඹුවා ය. සවිඥානික මනස අභිබවා පවතින්නා වූ මතකයේ හා පෞරුෂයේ යම් කොටසක් කායික මරණය ද ඉක්මවා ‍නොනැසී පවත්නා බැව් ඈ දැන් දනී.

Sunday, February 5, 2012

ඇඩම්ගේ මරණය

“ඔබේ පියා මෙහි ඉන්නවා... ඒ වගේ ම ඔබේ කුඩා පුතාත් ඉන්නවා. ඔබේ පියා කියනවා ඔබ ඔහු ව හඳුනා ගනීවි කියා, මන්ද ඔහුගේ නම ඇව්රෝම් නිසාත් ඔබේ දුවට නම් තැබුවේ ඒ නමින් නිසාත්. ඔහුගේ මරණය සිද්ධ වුණේ හෘදය වස්තුව නිසා යි. ඔබේ පුතාගේ හෘදය වස්තු‍වත් වැදගත්... ඒ මන්ද එය කුකුළු පැටවකුගේ මෙන් දුර්වල නිසා. ඔහු ආදරය නිසා ම ඔබ වෙනුවෙන් විශාල පරිත්‍යාගයක් කළා. ඔහුගේ ආත්මය ඉතා උසස් එකක්. ඔහුගේ මරණය දෙමාපියන්ගේ ණය බර අඩු කළා. ඒ එක්ක ම ඔහුට ඕනෑ කළා වෛද්‍ය විද්‍යාවට යා හැකි දුර මෙ පමණයි එහි විෂය පථය බොහොම සීමා සහිත යි කියන කාරණය ඔබට පෙන්වන්ට.”

කැතරින් කථාව නතර කළා ය. මම හිරි වැටී ගිය මනසින් යුතුව නිහඬ බව තුළ ගිලී කිසිවක අක් මුල් සොයා ගන්නට බැරි ව තතනමින් සිටියෙමි. කාමරය තුළ හිම මෙන් සීතලක් දැනිණ.

කැතරින් මගේ පෞද්ගලික ජීවිතය ගැන දැන සිටියේ අල්ප වශයෙනි. යටි ඇන්දේ යන්තමින් මෝදුවී එන කිරි දතක් පාමින් ප්‍රීතිමත් මුවින් සිනා සෙමින් සිටින දියණියගේ ළදරු වියේ ඡායාරූපයක් මගේ මේසය මත වී ය. ඊට යාබද ව තිබුණේ පුතණුවන්ගේ ඡායාරූපය යි. ඒ හැරුණු කොට මගේ පවුල හෝ ‍පෞද්ගලික ජීවිතය ගැන කැතරින් කිසිවක් දැන සිටියේ නැත. සාම්ප්‍රදායික මනෝ චිකිත්සක ශිල්ප ක්‍රම ගැන මම හොඳින් හදාරා සිටියෙමි. ප්‍රතිකාරකයා යනු රෝගියා විසින් මුදා හරින සිතිවිලි, ආකල්ප හා හැඟීම් අතුරාලීම සඳහා සැකැසූ හිස් ඵලකයක් විය යුතු බව පොදු පිළිගැනීම විය. එ විට ප්‍රතිකාරකයාට කරුණු විශ්ලේෂණය කොට රෝගියාගේ මනස නමැති රංග භූමිය විශාලනය කොට නැරඹිය හැකි වූයේ ය. මම කැතරින් සම්බන්ධයෙන් ද මේ ප්‍රතිකාරාත්මක පරතරය හැම විටම පවත්වා ගතිමි. ඈ මා පිළිබඳ දැන සිටියේ ඇගේ මනෝ වෛද්‍යවරයා වශයෙන් පමණක් වූ අතර මගේ අතීතය හෝ ‍පෞද්ගලික ජීවිතය ගැන කිසිවක් දැන නො සිටියා ය. යටත් පිරිසෙයින් මගේ කිසි දු අධ්‍යාපනික සහතික පත්‍රයක් හෝ කාර්යාලය තුළ ප්‍රදර්ශනය කොට නො තිබිණ.

මා ජීවිතයේ අත් දුටු දරුණු තම ඛේදවාචකය වූ යේ 1971 මුල් භාගයේ දී සිදු වූ කුලුඳුල් පුතු ඇඩම් ගේ අනපේක්ෂිත මරණය යි. මිය යන විට ඔහු ඉපදී යන්තම් දින විසි එක පිරුණා පමණි. නිවෙසට රැගෙන විත් දින දහයකට පමණ පසු ඔහුට ශ්වසන අපහසුවක් ද දරුණු වමනයක් ද හට ගත්තේ ය. රෝග විනිශ්චය අතිශයින් ම බැරෑරුම් එකක් වූ අතර ඔවුන් අපට කීවේ එය “කර්ණිකා ආවාර විකෘතිය සහිත පූර්ණ අනියම් පුප්ඵුසීය ශිරා අපවහනය” බවත් “එය උපත් කෝටියකින් එකක දී පමණක් දක්නට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක්” බවත් ය. හෘදය වෙත ඔක්සිජනීකෘත රුධිරය ගෙන යන පුප්ඵුසීය ශිරාව මං මුලාව ගොස් හෘදය තුළට වැරැදි පසින් ඇතුළු වී තිබිණ. එය ඔහුගේ හෘදය කණපිට හැරවූවාක් බඳු අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් විය.

වික්‍රමාන්විත විවෘත හදවත් සැත්කමින් පලක් නො ලද ඇඩම් දින කිහිපයකට පසු මිය ගියේ ය. අපි මාස ගණනක් පුරා ශෝකයෙන් වැළපුණෙමු. අපේ ප්‍රාර්ථනා හා සිහින සියල්ල පුපුරා බිඳ වැටී තිබිණ. ඉන් වසරකට පසු උපන් දෙවන පුතු ජෝඩාන් තුවාල වූ අපේ හදවත් මත තවරා ලූ චන්දනාලේපයක් විය.

ඇඩම්ගේ මරණය සිදු වූ කාලයේ මම වෘත්තියක් ලෙස මනෝවිද්‍යාව තෝරා ගැනීම සම්බන්ධයෙන් අතීරණාත්මක ව වැනෙමින් සිටියෙමි. මගේ සීමා වාසික වෛද්‍ය පුහුණු කාලය ප්‍රසන්න එකක් වූ අතර එහි නේවාසික තනතුර සඳහා ද මට ඇරයුම් ලැබී තිබිණ. ඇඩම් ගේ මරණයෙන් පසු මගේ වෘත්තිය විය යුත්තේ මනෝවිද්‍යාව බවට මම දැඩි තීරණයක් ගතිමි. මහා තාක්ෂණ හරඹ, දැනුම් අටෝරාසියක් පිරිවරා ගෙන සිටියත් මගේ අසරණ දරුවා ගලවා ගන්නට අසමත් වූ ඊනියා නූතන වෛද්‍ය විද්‍යාව කෙරේ මා තුළ වූයේ කෝපයකි.