Thursday, January 26, 2012

පූර්ව ජන්මයකට ගිය කැතරින්

අවසානයේ මෝහන ප්‍රතිකාර ක්‍රමය අත්හදා බැලීමට ඈ කැමැති වූවා ය. මෙහි දී මා බලාපොරොත්තු වූයේ කිසියම් ඉලක්කගත චිත්ත ඒකාග්‍රතා ක්‍රමවේදයක් යොදා ගනිමින් මෙ‍ම රෝග ලක්ෂණ වලට හේතු වූවා යැයි මා අනුමාන කළ ළමා වියේ දී ඇගේ යටි සිතට කා වැදුණු කිසියම් චිත්තවේගීය කම්පනයක් වෙත ඇගේ මතකය රැගෙන යාම යි.

කැතරින්ට ගැඹුරු සම්මෝහ නිද්‍රාවකට පත් වීමට හැකි වූ අතර සවිඥානිකව සිහිපත් කළ නො හැකි වූ සිදුවීම් පිළිබඳ මතකය අවදි කර ගන්නට ඈ සමත් වූවා ය. වරක් පිහිණුම් තටාකයේ කිමිදුම් පුවරුවෙන් ඉවතට තල්ලු කරනු ලැබ වතුරට වැටී හුස්ම හිරවීමෙන් අපහසුවට පත් අයුරු ඈට සිහිපත් විය. එසේ ම දන්ත වෛද්‍යවරයාගේ කාමරයේ දී ගෑස් මුහුණක් පැළඳවීමෙන් සන්ත්‍රාසයට පත් වූ අයුරු ඈට සිහිපත් විය. නරක ම දෑ වූයේ තුන් හැවිරිදි වියේ දී සිය බීමත් පියා විසින් අත පත ගානු ලැබූ අයුරු සිහිපත් වීම යි. ඔහු ගේ දැවැන්ත අතින් මුව වසා ඈ නිහඬ කරවනු ලැබ තිබිණ. අපට නිවැරදි පොටක් පෑදුණ බව මගේ විශ්වාසය විය. දැන් ඉතින් ඇගේ තත්වය යහපත් අතට හැරෙනු ඇතැයි මම විශ්වාස කෙළෙමි.

එහෙත් මගේ පුදුමයට මෙන් තත්වයෙහි කිසි දු ප්‍රගතියක් නොවී ය. මෙය බලාපොරොත්තු නො වූ ප්‍රතිචාරයක් වූයෙන් මා නිගමනය ‍කෙළේ ඇගේ උපවිඥානය තුළ මිහිදන් වූ චිත්තවේගාත්මක කම්පනයන් තවත් ඉතිරිව තිබිය හැකි බවයි. තුන් හැවිරිදි වියේ දී පියා පියා අතින් වූ අකටයුත්ත ඇතැම් විට ඊට පෙර බාල වියේදී ද සිදු විය හැකි ව තිබිණ. අප විසින් නැවත උත්සාහ කළ යුතු විය.

ඊ ළඟ සතියේ මම නැවත වරක් කැතරින් වඩාත් ගැඹුරු තලයක වූ සම්මෝහ නිද්‍රාවකට රැගෙන ගියෙමි. මෙ වර මම අත් වැරදීමකින්, නිශ්චිත දිශානතියකින් තොර වූ විවෘත විධානයක් දුනිමි.

“ඔබේ රෝග ලක්ෂණ පැණ නඟින කාලය වෙත ආපසු ගන්න.”

මා මින් අදහස් කෙළේ කැතරින් ඇගේ පූර්ව ළමා විය වෙත නැවත කැඳවීමකි.

එහෙත් ඒ වෙනුවට සිදු‍ වූයේ ඇය වසර හාර දහසකට පමණ එ පිටින් වූ පෞරාණික ප්‍රත්‍යාසන්න පෙරදිග පූර්ව ජන්මයක් වෙත ඇදී යාම යි. එහි දී ඇය වෙනත් සිරුරක් ද, වෙනස් මුහුණක් ද, වෙනස් කෙස් කළඹක් ද, වෙනස් නාමයක් ද දැරුවා ය. එම යුගයේ භූමි විස්තර ද, ඇඳුම් පැලඳුම්ද, එදිනෙදා පරිහරණය කළ භාණ්ඩ ද ඇයට මතකයට නඟා ගත හැකි වූයේ ය. ජල ගැල්මකට හෝ වෙනත් ජල ප්‍රවාහයකට හසු ව දියේ ගිලී මළ සැටි සහ සිය අත දරුවා ජල ප්‍රවාහය විසින් ඩැහැගනු ලැබූ අවසන් ජවනිකාව තෙක් ඒ ජිවිතය තුළ අත් දුටු සියලු සිදුවීම් ඈට සිහිපත් කළ හැකි විය. මිය යන්නා හා ම ඈ සිය සිරුරින් ඉහළට පාවී ගියේ ආචාර්ය එලිසබෙත් කුබ්ලර් රොස්, ආචාර්ය රේමන්ඩ් මූඩි, වෛද්‍ය කෙනත් රිං ඇතුළු වෙනත් එ වැනි වියතුන් ගේ පරීක්ෂණ වාර්තා වල සඳහන් මරණාසන්න අත්දැකීම් පුනරාවර්තනය කරමිනි. (මේ මරණාසන්න අත්දැකීම් පිළිබඳ මේ පොතෙහි අන් තැනෙක විස්තර සහිතව සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙමි.) කෙ සේ වුව ද, කැතරින් මේ වියතුන් පිළිබඳ හෝ ඔවුන්ගේ පර්යේෂණ පිළිබඳ කිසිවක් දැන සිටියේ නැත.

1 comment:

  1. ඔබගේ ලිපි මාලාව කියවීම ඇරඹුවේ අදයි. මෙය යාවත් කාලීන කරන්න. අපට උගත හැකි දේ බොහෝයි.

    ReplyDelete